Saturday, November 1, 2008

දැක්ක ගමන් කන්න හිතෙනවා.


පොල් වලු පුවක් වලු දැක පුරුදු ශ්‍රි ලාංකික අපිට රටඉඳි වල්ලක් කියන්නෙ විශේෂ දෙයක්.සෞදි අරබියෙදි ඒ අත්දැකීම විදගන්න අපිට අවස්ථාව ලැබුනා.ඇසුරුම් කරනලද රටඉඳි හැර ස්වභාවිකවම ගහෙන් කඩාගෙන රටඉඳි කන්නනම් මේ වගේ රටකටම එන්න වෙනවා.විවිධාකාරයේ රටඉඳි වර්ග රාශියක් මෙහිදී දකින්න ලැබෙනවා.මිළ ගනන් බැලුවොත් ඉතා සුලු මුදලක සිට විශාල මුදලක් දක්වා වෙනස්වන පරාසයක විවිධ රටඉඳි වර්ග දකින්න පුලුවන්.

උෂ්ණ දේශගුණය සහිත මාස කීපය තුලදි පමණක් ඵල දරන මේ රටඉඳි ගස් වල පොල් පුවක් වගේ වසර පුරාම ගෙඩි දකින්න ලැබෙන්නේ නැහැ.වායුගෝලීය ආර්ධතාවය ඉතාමත් උච්ච වන කාල වකවනුව තුලදී රටඉඳි ගෙඩිය පරිපූර්ණත්වයට පත්වනවා.

මෙම ඡායාරූපය එවන් සරුසාර රටඉඳි පොකුරක්.පෞද්ගලිකව මා ඡායාරූපකරණයට ඉතා ඇලුම් කලත් මේ ඡායාරූපය ගත්තෙ නම් මම නොවෙයි.මෙහි අයිතිකරු සුදත් හේමන්ත නම් වූ මාගේ මිත්‍රයෙක්.මෙම සටහන ලියන්නට මට සිතුනෙත් මේ අනගි ඡායාරූපය නිසාමයි.

මොකද මේක දැක්කම හිතෙන්නේ....?

දැක්ක ගමා..........න් කන්න හිතෙනවා නේද......?

Thursday, October 30, 2008

උබුන්ටු ලැබුන හැටි


මම විවෘත මෘදුකාංග ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් වුනේ සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදයේ සාමාජික්යන්ගේ බ්ලොග් සටහන් කියවීමෙනුයි. ඒ අනුව මම උබුන්ටු සහ ෆෙඩෝරා යන මෙහෙයුම් පද්ධති දෙකම අන්තර්ජලය හරහා බාගත කලා. පරිඝණක කිහිපයක් මත ඒවා ස්ථාපනය කර්මින් ඒවා අත්හදාබලන්නට මගේ මිතුරන්ද සම්බන්ධ කරගත්තා. ඒ අනුව වඩාත් උනන්දු වූ මාගේ මිත්‍රයෙකු අන්තර්ජාලය හරහා උබුන්ටු ඇන්වුම් කලා. පසුගිය දිනක සෞදි අරාබියේ අපේ සේවා ස්ථානයට අප ඇන්වුම් කළ උබුන්ටු සංයුක්ත තැටිය ලැබුනා. මෙය ඉතාමත් සොම්නසට කාරණයක්.මෙම සටහන සෙනෙහසින් සිංහල බ්ලොග් කරුවන්ට තුති පුදකරන්නටයි.

Friday, October 17, 2008

අජන්ත මෙන්ඩිස්


අද දවස වන විට මුලු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන පිරිස තුල සුවිශේෂී ක්‍රීඩකයෙක් බවට පත්ව සිටින අජන්ත මෙන්ඩිස් පිළිබඳව සටහනක් තැබීමට කලක සිට සිතා සිටියත් එයට අවස්ථාව උදාවුනේ නැහැ.
නමුත් අජන්ත නම් දිනෙන් දිනම ඔහු ගැන කතාකළයුතු යමක් අපට ලබාදෙනවා.ඔහු ලැබූ කඩුලු,සම්මාන සහතික,ත්‍යාග ගැන කතාකිරීම ප්‍රයෝජනයක් නැහැ.මොකද ඒ සියල්ල අපි ඉතා හොදින් දන්න්වා.

අර්ජුනලා අරවින්දලා ක්‍රීඩා කරන කලෙ අපිට තිබුන ප්‍රශ්ණයක් තමයි ඔවුන් ක්‍රීඩාවෙන් සමුගත්තම කවුද ඒ වෙනුවට ක්‍රීඩා කරන්නෙ කියන කාරනය.ඒවට උත්තර දෙන්න පිතිකරුවො කණ්ඩායමට ආවා.ඒත් ලොකුම ප්‍රශ්ණය වුනේ ලොව බිහිවුන හොඳම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙනුවට අදේශකයක් අපට හෝ මුලු ලෝකයටම සොයාගන්න පුලුවන්ද කියන කරණයයි.

මෙන්න මෙතනදි තමයි ශ්‍රි ලාංකිකයො විදියට අපට ආඩම්බර වියහැකි අවස්ථාව උදාවුනේ.ලොව හොඳම පන්දු යවන්නගෙ කිරුළ තව දුරටත් රැක ගැනීමට ශ්‍රි ලාංකිකවට දැන් තවත් අවස්ථාවක් තියනවා.මට මතක විදියට එක් අවස්ථාවක මුරලිම ප්‍රකාශ කලා තමන්ගේ අරම්භක යුගය මෙතරම් සාර්ථක නොවුන බව.මේ අයුරින්ම දක්ෂ ලෙස සැමදා ක්‍රීඩා කිරීමට අපි අජන්තට ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කළ යුතුයි.
ඒකට එක හේතුවක් තියනවා.ලංකාවෙ දඟ පන්දු යවන්නන් ගැන ලොකුම රුදාව තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට.ඒක අපි කවුරුත් හොදින් දන්නවනෙ.එයාලා ගහන්න පුලුවන් දහන් ගැට සේරම ගැහුවා මුරලිව විනාශ කරන්න.ඒත් ඒක කරන්න බැරිවුනා.ඔහු නුදුරු දිනක ක්‍රීඩාවෙන් සමුගත්තත් ඒ හා සමානම විශ්මිත දඟ පන්දු යවන්නෙක් නැවත ශ්‍රී ලංකාවෙන් බිහිවීම ඔවුන්ට ලෙහෙසියෙන් දරාගන්න හැකිවෙන එකක් නම් නැහැ.මුරලි අපේ රටට හැම ගෞරවයක්ම ලබාදුන්නා.ඒත් අපිට ඔහුගෙන් ඉටුකරගන්න බැරිවුන සිහිනයක් තියනවා.ඒක තමයි ටෙස්ට් තරඟයකදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවෙදිම පරාජය කිරීම.
දයාබර අජන්ත... ඒ සිහිනය සැබෑකරදීමට ඔබට හැකියවත් වාසනාවත් තිබෙන බව ක්‍රිකට් ලෝලී සියලුම දෙනාගේ විශ්වාසයයි.

ඔබට සදා ජය.....!!

Wednesday, August 20, 2008

කොටියාගේ රජ වීම හා බලු වීම

මා සෞදි අරාබියෙ රැකියාව කරන කෙනෙකු නිසා මෙහිදී විවිධ රටවල විවිධ තරාතිරමේ මිනිසුන් ඇසුරු කිරීමට අවසථාව ලැබිලා තියනවා.පවතින අවිවේකී බව නිසා බ්ලොග් සටහන් ලිවීමට කාලය වෙන්කරගැනීම අපහසු වුවත් මේ සටහන මා කෙසේ හෝ තබන්නට සිතුවේ පසුගිය දිනක ඉන්දියවේ කේරල ජාතිකයකු පැවසූ කතාවක් නිසයි.

ඔහු පැවසූ කතාව වන්නේ අනාගත වාක්‍යකි.එනම් නුදුරු දිනක "ප්‍රභාකරන් ශ්‍රී ලංකවේ ජනාධිපති වන බවයි".මේ කතාව තවත් මොඩයෙකු කී කතාවක් ලෙස මට බැහැර කළ නොහැක්කේ ඔහු උන්මත්තකයකුවත් බුද්ධි හීනතාවයකින් පෙලෙන බවක්වත් ඔහුගෙ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් පිළිබිඹු නොවන නිසයි.

මේ පිළිබඳව මාගේ කල්පනාව වන්නේ භාහිර ලෝකය විසින් ප්‍රභාකරන් පිළිබඳව ඔහු තුල අති කරන ලද චිත්‍රය මෙය බවයි.මස් වැද්දෙකු වීරයකු කිරීමෙන් පමනක් නොනැවතී නුදුරු දිනක ඔහු ශ්‍රී ලංකාවේ ජනධිපති වීමට තරම් සුදුසු පුද්ගලයෙකු බව ලෝක ජනතාව තුළ මතයක් පතුරවා හරින්නට LTTE සංවිධානය උත්සහ කරන බවයි.සාවද්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොදාගනිමින් ඔවුන් ලෝක ජනතාව මුලා කරනබව අප ඉතා හොදින් දනිමු.

සත්‍ය වසන් කරමින් LTTE සංවිධානයට වාසි සහගත වන අයුරින් විවිධ තොරතුරු පතුරවා හරින පුද්ගලයන් හා සංවිධාන ලෝකය පුරා ඕනෑතරම් විසිරී තිබේ.නමුත් විළිලැජ්ජාවට කාරනය වන්නේ දහස් ගනන් මිනිසුන් හා රාජ්‍ය දේපල විනාශ කරමින්ද, අහිංසක දෙමළ ජනතාව බිය වද්දමින්ද, කුඩා දරුවන් බලෙන් යුද්ධයට බඳවාගනිමින්ද, ලොව බිහිවූ කිසිම ආගමක් හෝ දර්ශනයක් සමඟ එකඟ නොවන්නාවූ ලෙසට ලොව ප්‍රථම මිනිස් බෝම්බය නිර්මණය කරමින්ද, පමනක් නොනැවතී වසර 2500ක ප්‍රෞඩ ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘත්ති කරමින්ද, ලෝකය වටා යමින් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ඔවුන් බව ලොවට කියද්දීත් එය අනුමත කිරීමට තරම් දීන වූ ශ්‍රී ලාංකිකයන්ද සිටීමය.

ඒ ආකාරයෙන් බැලූ විට කේරල ජතිකයාගේ ප්‍රකාශය අවඥාවෙන් බැහැර කළ හැකිය.කෙසේ වෙතත් අද දිනයේදී අපගේ වැදූ මව හා සමාන අප හැදී වැඩුන මතෘභූමිය ආරක්ෂා කරගැනුමට තම දිවි පරදුවට තබමින් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින සියලුම අංශ වල රණ විරුවන්ට අපගේ මවුබිම රැක ගැනීමට යෝධ බල, ශක්තිය, ධෛර්ය්‍ය ලැබේවායි ශ්‍රී ලාංකික අප සැම එක සිතින් ප්‍රාර්ථනා කළ යුතු වෙමු.

ජනාධිපති වීම කෙසේ වෙතත්, කොටි සමත් ගැලවී කොටියා බලු වන අවස්ථාව එනතෙක් ඉවසිල්ලෙන් බලාසිටිය යුතු සුවිශේෂී ඓතිහාසික කාල පරිච්ඡේදයක් අප පසු කරමින් සිටින්නෙමු.

Saturday, May 10, 2008

පසුගිය දවස්..

පසුගිය දවස් ටිකේම කලේ බ්ලොග් කියවන එක.පසුගිය දවසක මමත් බ්ලොග් කරුවන්ගේ සමූහයේ සාමාජිකත්වය ගත්තා.දැන් දිගට හරහට mail ගලගෙන එනවා මගෙ Gmail එකට.ඒ හරහා සෑහෙන දනුමක් ලබගන්න පුලුවන් වුනා.අලුතෙන් හදපු බ්ලොග් කරුවන්ගේ සින්ඩිකේටරය ගැන දැනගන්න ලැබුනෙත් ඒ හරහම තමයි.මමත් බ්ලොග් ලැයිස්තුවට මගෙ බ්ලොග් එකත් එකතු කලා.අපේ ප්‍රවීන බ්ලොග් කරුවො ඉඩක් තියන විදියට අපි වගේ ආධුනික බ්ලොග් කරුවන්ගෙ බ්ලොග් එකකට පුංචි comment එකක් දනවනම් හිතට පොඩි දිරියක් ලැබෙනවා.ඉදිරියටත් බ්ලොග් ලියන අදහසින් අදට නවතිනවා.

Wednesday, April 30, 2008

පුදුමයි ඒත් ඇත්තයි....!

ලෝකයේ ඕනෑම රටක නම කියූ සැනින් සිතියමකින් එය පෙන්නන එක එතරම්ම පහසු දෙයක් නම් නෙමෙයි.ඒ සඳහා සෑහෙන කලයක් තිස්සෙ සිතියම් අධ්‍යයනය කළ යුතුයි.ඒත් අවුරුදු දෙකක පුංචි දරුවෙක් ඒ හපන්කම කරනවා බලන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.....


Monday, April 28, 2008

අලි බබා සහ හොරු හතලිහ

පොඩි කාලේ අපි අලි බබා සහ හොරු හතලිහ කියල කතවක් අහල තියනවනෙ.ඒ අය හිටියයි කියල සැලකෙන තැනට යන්න අවස්ථාවක් මට ලැබුනා.ඒක සෞදි අරබියෙ "අල් හසා" කියන ප්‍රදේශයේ තියන විසාල ගල් කන්දක් තුල ස්වභාවිකව හැදුනු විශාල ගල් කුහරයක්.මේ කතාවෙ අත්ත නැත්ත මම හරියටම දන්නෙ නැතත් මෙක බලන්න වටින තනක් කියල හිතුන නිසයි මේ සටහන ලියන්නෙ.මේ ස්ථානය මෙහෙ අය හඳුන්වන්නෙ "ජබල් අල් ගාරා" කියන නමින්.මේ ගල් කන්ද පේන්නෙ මෙන්න මේ විදියටයි.



සාමාන්‍යයෙන් අපි කන්දක දැකල නැති හැඩතල තමයි මේ කන්දෙ දකින්න ලැබෙන්නෙ.පහල ඡායාරූපයෙන් පෙනෙන්නෙ ඒ විශාල කුහරයට අතුලුවෙන දැවැන්ත සිදුර.මිනිසුන්ගේ උසත් එක්ක සන්සන්දනය කලාම එහි විශාලත්වය හිතාගන්න පුලුවන්.



මෙතනින් අතුලුවන කෙනෙකුට විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය විශාල බිම් ගෙවල් ප්‍රමානයක් දැකගන්න පුලුවන්.

Saturday, April 26, 2008

ඔහොම යං.....

පසුගිය මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තට එක දිගටම කරගෙන යන්න බැරිවුනා.ඒකට හේතුව වුනේ මගේ පරිඝණකය මාරුකරන්නට සිදුවීමයි.ඉඩක් ලැබෙන විදියට බ්ලොග් ලියන්න ආසයි.නමුත් මොකක් හරි වැඩක් යෙදෙනවා.එකත් එක හේතුවක්.කාලය කලමණාකරනය කිරීමත් කලාවක් කියලයි මට නම් හිතෙන්නෙ.කොහොම නමුත් මම නිතර අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් කියවනවා.ඒ හරහා ගොඩාක් දේ දැනගන්න ලැබෙනවා.ඒ අතර විවිද මෘදුකාංග ගැන දැන ගන්නට ලැබීම සතුටට කරුණක්.ඔහොම යං.... ඔහොම යං....

Monday, March 10, 2008

ආයුබෝවන්....!

මම රැකියාව කරන්නෙ සෞදි අරබියෙ.මෙහෙ ඉන්න කාලය තුලදි ලැබෙන විවේක අවස්ථාවන්වල මම පරිගණක පි‍ළිබඳව ස්ව්‍යං අ‍ධ්‍යයනයක යෙදෙන්න උත්සහ කලා.මා වැඩිපුරම උනන්දුවක් දැක්වුවේ ඡායාරූප සංස්කරණය හා පරිගණක එකලස් කිරීම සම්බන්ධවයි.අන්තර්ජාලය පිලිබද ලොකු උනන්දුවක් තිබුනත් ඊට අවස්ථාවක් නොලැබුනේ පෞද්ගලිකව අන්තර්ජාල සම්බන්‍ධතාවයක් පවත්වාගෙනයාම වියදම් අධික කටයුත්තක් වෙලා තිබුන නිසයි. නමුත් මාස හයක පමණ ඉහත කාලයක සිට සීමාරහිත අධිවේගී අන්තර්ජාල සම්බන්‍ධතාවයන් ඉතා පහසු මිලකට ලබාගැනීමේ අවස්ථාව අපට හිමිවුනා. මා සමග මෙහි සේවය කරන මිතුරන් විශාල ප්‍රමාණයක් දැන් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා. ඒක සතුටට කරුණක්.
නවකයන් ලෙස අන්තර්ජාලයට පිවිසෙන ශ්‍රී ලාංකික මිතුරන්ට අපගේ ශ්‍රී ලාංකික වෙබ් අඩවි සොයා යාම පහසු කරවන්නටත් මා පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් දැනගන්නටත් හැකිවන පරිදි මා පෞද්ගලික වෙබ් අඩවියක් නිර්මාණය කලා.සැබවින්ම එහි මූලික අරමුණ මේ සියල්ල පිළිබඳව අධ්‍ය‍යනය කරන්නට අවස්ථාව සලසා ගැනීමයි. http://www.priyanthanet.piczo.com/ මේ වෙබ් අඩවියට මොහොතකට පිවිසෙන්න කියල මම ඔබ සියලුදෙනාටම ආරා‍ධනා කරනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ල මෙය හදාරන මා හට මාර්ගෝපදේශකත්වයක් වේවි.
බ්ලොග් අඩවි ගැන උනන්දුව ඇතිවුනේ ඊටත් පස්සෙ.ඉඩ ලැබෙන ආකාරයට මෙම බ්ලොග් එක ලියන්න මම බලාපොරොත්තු වෙනවා.විවි‍ධ මතෘකා ඔස්සේ මේ සටහන් විවිද අයුරින් ගලාගෙන යාවි.ඒ හැම දෙයක්ම සංවාදයට ලක්කරමින් මා හා එකතුවන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සි‍ටිනවා.ඒ අතරම බ්ලොග් ‍භාවිතා නොකරන අයටත් බ්ලොග් ‍භාවිතයට එක්වනලෙස මම අරාධනා කරනවා.
මගේ ප‍ළමු බ්ලොග් සටහන මෙයින් හමර‍යි.
ස්තුතියි..

;;
Related Posts with Thumbnails