Thursday, December 31, 2009

2009 අවසන්....! 2010......?


2009 වසර අවසන් වෙලා 2010 වසර උදාවෙන්න තව පැය කීපයයි.මේ විදියට වසර කීපයක් අපි පහු කලාද..? ඒ හැම එකකටම වඩා මේ අවුරුද්ද සුවිශේෂයි.පෞද්ගලිකව මගෙ පැත්ත බැලුවොත් වසර ආරම්භයෙදිම රට රස්සාවෙන් මිදිලා ලංකාවට එන්න අවස්ථාව උදාකරගන්න පුලුවන් වුනා.ඒ වගේම මගෙ විවාහය සිදුවුනෙත් මේ ගෙවීයන අවුරුද්දෙ මාර්තු මාසෙ.තවත් ඉදිරියට ගියොත් මගෙ දයාබර බිරිඳ දැන් දරු ප්‍රසූතියකට සූදානම් වෙමින් ඉන්නවා.ඒ අතින් බැලුවම මේ වසර මගෙ ජීවිතයට ඉතාමත් වැදගත්.

පොදුවේ රට ගැන හිතුවොත් අවුරුදු තිස් ගණ්නක් තිස්සෙ ඇදිලා ගිය LTTE ත්‍රස්තවාදය නිමාවෙලා තියනවා.උපන්දා සිට අහන්න දකින්න විඳින්න ලැබුන මේ කරදරයට මතු පරපුරට මුහුනදෙන්න වෙන්නැති එකම ලොකු දෙයක්.ඒ තුලින් ලබන්නාවු නව වසරත් සමඟ රටට හොඳ අනාගතයක් උදාවේවි යැයි මම සිතුවා.එත් වසර අවසන් වෙන්නටත් පළමුව සියලුම දේශපාලන පක්ෂ කා කොටාගනිමින් නටන නාඩගම දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා.පක්ෂ විපක්ෂ ලෙස රටේ අනාගතය වෙනුවෙන් හරවත් සංවාදයක යෙදෙනවා වෙනුවට අද දවසේ මොවුන් මේ කරන්නෙ කුමක්ද..?

වචනයෙන් විස්තර නොහැකි ජුගුප්සාජනක දේ කියමින්, කරමින්, විලි ලැජ්ජානැති විදියට හැසිරෙමින්, මොවුන් මේ පොර කන්නේ කුමකටද..?

මේ රට සුරපුරක් කරන්නලු....!
ජනතාව සුඛිත මුදිත කරන්නලු....!
අඳෝමැයි.....

සියලු අලකලංචි මැද කලය ගෙවීයනු ඇත.නව වසරක් උදාවනු ඇත.ලබන්නාවූ නව වසරේ බ්ලොග් කියවන ලියන සැමටත්, රටවැසි සියලු දෙනාටමත්, යහපතක්ම වේවායි මම හදවතින්ම සුභ පතමි.

Monday, December 7, 2009

මට තරු පෙනුනි.


රිමෝට් එක අතේ තියන වෙලවට හේතුවක් ඇතුව හෝ නැතුව ටී.වී එකේ චැන්ල් මාරු කරන එක දැන් කලෙ ගොඩක් අයට තියන සාමාන්‍ය ලෙඩක්නෙ. ඔය ලෙඩෙ මට තදේටම තියනවා.ඔන්න ඕක කරන්න ගිහින් තමා ඊයෙ රෑ මට තරු පෙනුනෙ.
එකක සුපර් ස්ටාර්ය. තව එකක මෙගා ස්ටාර්ය. තව එකක ඩ්‍රීම් ස්ටාර් සහ ලිට්ල් ස්ටාර්ය. තව එකක ශ්‍රි ලාංකික ජීවිතය සොයයි. නම වෙනස් උනාට කරිය එකකි. එකම රැයක සියලුම මාධ්‍ය අයතන මට තරු පෙන්නුවේය. ශ්‍රි ලාංකික කලා කෙත අස්වද්දන්නට සියලු මාධ්‍ය ආයතන පොරකති.
මේ ජර මර අස්සෙ තරු විසිවන තවත් තරු පොරයකුත් පේන්නට තිබුනි. ඒ අපේ මේ පුංචි රට සුර පුරයක් කරන්නට පොරකන දේශපාලක තුමන්ලාගේ තරු පොරයයි.
මට තරු පෙනී ඇස් නිලංකාර විය.

Friday, August 28, 2009

පුංචි පවුල සහ වැලේ ගෙඩි



ඉස්සර කාලෙ පැරැන්නො කීවෙ වැලේ ගෙඩි වැලට බර නෑ කියලා.එත් පස්සෙ කාලෙක පුංචි පවුල රත්තරන් වුනා.මේ පරිවර්තනය ගොන් කරත්තෙන් ගිය අපි මෝටර් රථයට මාරු වුනා වගේ ලෙහෙසිය පහසුව නිසා වුන දෙයක්ද? බටහිරයන් අපේ මේ ආකල්පය සැබවින්ම වෙනස් කලේ අපේ රටට ඔරොත්තු නොදෙන තරමින් අපේ රටේ ජනගහනය වැඩිවී එය අප රටේ දියුනුවට බාදාවක් වේවි යැයි සිතූ නිසාද? නැතිනම් ඕනෑම බටහිර ආකල්පයක් හිස් මුදුනින් බාරගන්නා අපේ මෝඩකමින් ප්ර යොජන ගෙන ශ්රිත ලාංකික ජාතිය විනාස කිරීමටද?එය තහවුරු වන්නේ ලෝකයේ වඳවන ජාතීන්ගේ ලෙඛනයට අපේ ජාතියද එක්වී ඇති බැවිනි. ඉතා සරල ලෙස හිතා බැලුවහොත් අද කාලයේ පවුල් කීයක නම් දරුවන් දෙදෙනෙකුට වඩා සිටීද? විවාහයකදී දෙදෙනෙකුගේ එකතුවෙන් දරුවන් දෙදෙනෙක් හෝ ඊට අඩුවෙන් ලැබේනම් පරම්පරා කිහිපයකදී සිදුවන දෙය සිතාගත හැකිය.

ඒ අතරම දරුවන් හැදීම පලනය කරන්නට බොහෝ අය පෙළඹෙන්නෙ අර්ථික හේතු පදනම් කරගෙන බව පිළිගතයුත්තකි.අද සමාජය තුල පවතින අතිශය කර්යබහුලභාවයද පිළිගත යුතු කරණයකි.බොහෝ කාන්තාවන් පෙරට වඩා අද කාලයේ රැකියාවල යෙදීම තවත් කරණයකි.මේ සියල්ල අප බටහිරකරණය වීම නිසා සිදුවූ දේවල් වුවත් දැන් අප සමජයට ආපසු හැරීමේ හැකියවක් නැත.
කෙසේ නමුත් බටහිරයන් විසින් කපා දුන් විනාශයේ මවත දිගේ ගමන් කරමින් සිටින බව අප අකමැත්තෙන් වුවත් පිළිගතයුතුද?

Wednesday, August 20, 2008

කොටියාගේ රජ වීම හා බලු වීම

මා සෞදි අරාබියෙ රැකියාව කරන කෙනෙකු නිසා මෙහිදී විවිධ රටවල විවිධ තරාතිරමේ මිනිසුන් ඇසුරු කිරීමට අවසථාව ලැබිලා තියනවා.පවතින අවිවේකී බව නිසා බ්ලොග් සටහන් ලිවීමට කාලය වෙන්කරගැනීම අපහසු වුවත් මේ සටහන මා කෙසේ හෝ තබන්නට සිතුවේ පසුගිය දිනක ඉන්දියවේ කේරල ජාතිකයකු පැවසූ කතාවක් නිසයි.

ඔහු පැවසූ කතාව වන්නේ අනාගත වාක්‍යකි.එනම් නුදුරු දිනක "ප්‍රභාකරන් ශ්‍රී ලංකවේ ජනාධිපති වන බවයි".මේ කතාව තවත් මොඩයෙකු කී කතාවක් ලෙස මට බැහැර කළ නොහැක්කේ ඔහු උන්මත්තකයකුවත් බුද්ධි හීනතාවයකින් පෙලෙන බවක්වත් ඔහුගෙ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් පිළිබිඹු නොවන නිසයි.

මේ පිළිබඳව මාගේ කල්පනාව වන්නේ භාහිර ලෝකය විසින් ප්‍රභාකරන් පිළිබඳව ඔහු තුල අති කරන ලද චිත්‍රය මෙය බවයි.මස් වැද්දෙකු වීරයකු කිරීමෙන් පමනක් නොනැවතී නුදුරු දිනක ඔහු ශ්‍රී ලංකාවේ ජනධිපති වීමට තරම් සුදුසු පුද්ගලයෙකු බව ලෝක ජනතාව තුළ මතයක් පතුරවා හරින්නට LTTE සංවිධානය උත්සහ කරන බවයි.සාවද්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොදාගනිමින් ඔවුන් ලෝක ජනතාව මුලා කරනබව අප ඉතා හොදින් දනිමු.

සත්‍ය වසන් කරමින් LTTE සංවිධානයට වාසි සහගත වන අයුරින් විවිධ තොරතුරු පතුරවා හරින පුද්ගලයන් හා සංවිධාන ලෝකය පුරා ඕනෑතරම් විසිරී තිබේ.නමුත් විළිලැජ්ජාවට කාරනය වන්නේ දහස් ගනන් මිනිසුන් හා රාජ්‍ය දේපල විනාශ කරමින්ද, අහිංසක දෙමළ ජනතාව බිය වද්දමින්ද, කුඩා දරුවන් බලෙන් යුද්ධයට බඳවාගනිමින්ද, ලොව බිහිවූ කිසිම ආගමක් හෝ දර්ශනයක් සමඟ එකඟ නොවන්නාවූ ලෙසට ලොව ප්‍රථම මිනිස් බෝම්බය නිර්මණය කරමින්ද, පමනක් නොනැවතී වසර 2500ක ප්‍රෞඩ ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘත්ති කරමින්ද, ලෝකය වටා යමින් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ඔවුන් බව ලොවට කියද්දීත් එය අනුමත කිරීමට තරම් දීන වූ ශ්‍රී ලාංකිකයන්ද සිටීමය.

ඒ ආකාරයෙන් බැලූ විට කේරල ජතිකයාගේ ප්‍රකාශය අවඥාවෙන් බැහැර කළ හැකිය.කෙසේ වෙතත් අද දිනයේදී අපගේ වැදූ මව හා සමාන අප හැදී වැඩුන මතෘභූමිය ආරක්ෂා කරගැනුමට තම දිවි පරදුවට තබමින් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින සියලුම අංශ වල රණ විරුවන්ට අපගේ මවුබිම රැක ගැනීමට යෝධ බල, ශක්තිය, ධෛර්ය්‍ය ලැබේවායි ශ්‍රී ලාංකික අප සැම එක සිතින් ප්‍රාර්ථනා කළ යුතු වෙමු.

ජනාධිපති වීම කෙසේ වෙතත්, කොටි සමත් ගැලවී කොටියා බලු වන අවස්ථාව එනතෙක් ඉවසිල්ලෙන් බලාසිටිය යුතු සුවිශේෂී ඓතිහාසික කාල පරිච්ඡේදයක් අප පසු කරමින් සිටින්නෙමු.

;;
Related Posts with Thumbnails